කර්නල් ඒ.එෆ්. ලාෆීර් PWV, RWP, RSP – ශ්‍රී ලංකා යුධ හමුදාව

හයවන බල ඇණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විශේෂ සේවා බලකාය

*පෞද්ගලික තොරතුරු *
සම්පුර්ණ නම : ඒ.එෆ්.ලෆීර්
හමුදා ඒකකය : විශේෂ සේවා බලකාය
මියගිය ස්ථානය : මුලතිව්
උපන් දිනය : 1958 දෙසැම්බර් 26
මියගිය දිනය : 1996 ජූලි 19
වයස : 38
පදක්කම ලැබුණු දිනය : 2001 අප්‍රේල් 24
විවාහක /අවිවාහක බව : විවාහක
මව : එස්.එල්.එන්. හනුන් ලෆීර්
පියා : ෛවද්‍ය ලෆීර්
බිරිඳ : අනෝමා
ලිපිනය : A 04/03/02 මැනිං ටවුන් නිවාස යෝජනා ක්‍රමය, කොළඹ 08
ලබා ගෙන ඇති පදක්කම් : පරම වීර විභූෂණය, රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම.

අස්ලාම් ෆස්ලි ලෆීර් 1958 දෙසැම්බර් 26 දා වෛද්‍ය ඒ.එච්.එම්. ලෆීර් මහතාට හා ලෆීර් මහත්මියට දාව මහනුවර දී උපන්නේය. කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලෙන් සිප්සතර හැදෑරූ ඔහු පාස‍ලේ දී ගුරු දෙගුරුන්ගේ මෙන්ම සහෝදර ශිෂ්‍යයින්ගේ සිත් දිනාගත් දීප්තිමත් ශිෂ්‍යයෙක් ද විය.

අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතුවලදීත් මූලිකත්වය ගත් ඔහු පාස‍ලේ දීප්තිමත් සිසුවකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. දිනූ දේශයේ ස්වාධීනත්වය රැකීමේ පරම අභිලාෂයෙන් 1980 අගෝස්තු 11 දා කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්වන්නේ වෛද්‍යවරයකු වූ සිය පියාගේ අඩිපාරේ යාමට වඩා තම තාරුණ්‍යය රට දැය වෙනුවෙන් කැපකරමිනි.

යුද හමුදා විද්‍යා පීඨයේ දක්ෂ විනයගරුක කැඩෙට් නිලධාරියකු ලෙස පුහුණුව ලද ඔහු 1982 පෙබරවාරි 27 දා පුහුණුව නිමාකර දෙවැනි ලුතිනන්වරයකු වශයෙන් අධිකාරි ලබා රජරට රයිෆල් රෙජිමේන්තුවට එක්විය.

ඉන් අනතුරුව පළමුවැනි ගජබා රෙජිමේන්තුව නගා සිටුවීමේ දී එහි ආරම්භක නිලධාරියකු ලෙස ද කටයුතු කළේය. ඉන් පසුව තුන්වැනි ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලද මොහුගේ සුවිශේෂී දක්ෂතාව නිසාම 1985 මාර්තු 26 දා සිට පාකිස්තාන් උපදේශකයන්ගේ මෙහෙයවීම යටතේ ඇරඹි ක්ෂණික විහිදුම් බළකායේ පළමු පාඨමාලාවට එක්වී උසස් ලෙස එය හැදෑරීය.

කොටි ත්‍රස්තවාදීන්ගේ ගරිල්ලා සටන්වලට ප්‍රතික්‍රියා දක්වන්නට ඇරඹි සුවිශේෂී පුහුණුව ලත් භට කණ්ඩායමක් ලෙස ක්ෂණික විහිදුම් බළකාය අරඹද්දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිලධාරීන් අතරට මෙකී තරුණ නිලධාරියා ද ඇතුළත්ව තිබිණි.

ගරිල්ලා ත්‍රස්තවාදීන්ට දරුණු හිසරදයක් වෙමින් හිස එසවූ ක්ෂණික විහිදුම් බළකායේ කුඩා කණ්ඩායම් මෙහෙයුම් නිලධාරියකු ලෙස පත්වී විශිෂ්ට මෙහෙවරක් කරන්නට අස්ලාම් ෆස්ලි ලෆීර් නම් වූ තරුණ නිලධාරියා සමත් වූයේය.

යුද පෙරමුණේ සිටි නිලධාරියකු ලෙසින් 1985 අගෝස්තු 27 දා කපිතාන් නිලයට උසස්වීම් ලද ඔහු 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට ද උසස්වීම් ලැබිය. 1989 අගෝස්තු 27 දා මේජර් නිලයට උසස්වීම් ලද මොහු පාකිස්තානයේ කනිටු නිලධාරි පාඨමාලාව ද හදාරා තිබිණි. අනතුරුව ඉන්දියාවේ දී මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරුවේය. කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාවේදීත්, බළඇණි ආරක්ෂක නිලධාරී පාඨමාලාව මෙරටදීත් හදාරන්නේය. මෙම කාල සීමාවල දී ක්ෂණික විහිදුම් බළකා ‘බි’ බලඝනයේ නිලධාරී අණදෙන ලෙසින් ද, විශේෂ බළකා පුහුණු පාස‍ලේ ප්‍රධාන උපදේශක ලෙස ද කටයුතු කරන්නේය.

යාපනය රිවිරැස මෙහෙයුමට දායක වී සාර්ථක ප්‍රතිඵල ගෙන දුන් ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකායේ භට කණ්ඩායම් තවත් රහසිගත මෙහෙයුමක් සඳහා මාදුරුඔය සිය කඳවුරට පැමිණ සිටියහ.

ගුවනින් ගොස් තොප්පිගල පිහිටි කොටින්ගේ නැගෙනහිර බලමූලස්ථානය අත්පත් කර ගැනීම විශේෂ බළකායට පැවරී තිබූ ඉලක්කය විය. ලුතිනන් කර්නල් රාජ් විජේසිරි අණදුන් දෙවන විශේෂ බළකාය වැලිකන්ද පුනානි දෙසින් හතරවන ගජබා රෙජිමේන්තුව සමග කැලෑ මාර්ග ඔස්සේ තොප්පිගල බලා යන අතරේ පළමුවන විශේෂ බළකාය ගුවනින් කඳවුරට කඩා වැදීමට සැලසුම් කර තිබිණි.
මෙහෙයුමේ සැලසුමට අනුව දෙවැනි විශේෂ බළකාය 1996 ජූලි 17දා තොප්පිගල බලා ගමන් කරන අතර ජූලි 18දා අලුයම පළමු වන විශේෂ බළකා භට කණ්ඩායම් මෙහෙයුමට එක්වීමට නියමිත විය.

කර්නල් ෆස්ලි ලෆීර් මෙහෙයුමට පෙර තම සෙබළුන් දිරිමත් කළේ ඔවුන්ට අපේ රජවරු රට එක්සේසත් කරන්නට කළ මෙහෙවර ඇතුළුව ඉතිහාසයද මතක් කර දෙමිනි. ඔහුගේ සෑම වචනයක්ම විශේෂ බළකායේ සුවිශේෂ පුහුණුව ලද සෙබළුන්ට තව තවත් චිත්ත ධෛර්යය වඩවන්නටද විය. දුටුගැමුණු රජු හා එළාර සටන් කියමින් සෙබළුන්ට ජාත්‍යාලය ඇති කරන්නට ඔහු සමතකු විය.
“කොල්ලනේ උඹලා ගමේ රස්තියාදු ගහන, බෝක්කු උඩ බිඩි බොන එවුන් දැකලා තියෙනවානේ. එල්.ටී.ටී.ඊ.යේ ඉන්නෙත් එහෙම එවුන්. නමුත් උඹලා හොඳින් ට්‍රේනින් වෙලා ආයුධ එක්ක යන එස්.එෆ්. කොල්ලෝ. සතුරාගේ ශක්තිය දන්නේ නැති අය තමයි බයෙන් ඉන්නේ. අපි දුර්වල වුණොත් තමයි සතුරගෙන් ගුටි කන්නේ. ඒ සතුරා දක්ෂ නිසා ‍නෙවෙයි. ඒ නිසා අපි සතුරා කරන්න යන දේ හිතලා අපි උන්ට වඩා ට්‍රැක්ටිස් පාවිච්චි කරන්න ඕනෑ” මේ කර්නල් ලෆීර් තම විරු පුතුන්ගේ හදවතට දැනෙන්නට කියන කතාය.
විශේෂ බළකාය කළ මෙහෙයුම් සියයට අනූනවයක්ම සාර්ථක වූයේත් මෙවැනි නිර්භීත නායකත්වයත් නිසාය. ලුතිනන් කර්නල් ජයිව් ප්‍රනාන්දුගෙන් පළමුවන විශේෂ බළකාය භාරගත් ෆස්ලි එස්.එෆ්. නම දැනුණද සතුරා බිය වන තරමට තම සගයන්ගේ ප්‍රහාරක හැකියාව ඔප් නංවා තිබුණේය.

මැලේ ජාතිකයකු වු ඔහු සැබෑ දේශප්‍රේමියකු ලෙස රුදුරු ත්‍රස්තවාදය නිමා කරන්නට සැලසුම් කළ අයකු විය.

රිවිරැස මෙහෙයුමෙන් යාපනය අල්ලා ගත් පසුව තෙන්නමරච්චි-වඩමාරච්චි මුදාගැනීමේ මෙහෙයුමේ භාරදූර වගකීම පැවරෙන්නේද ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් අණදුන් පළමුවැනි විශේෂ බළකා රෙජිමේන්තුවටය.

මෙම මෙහෙයුමේදී අභියෝගාත්මක මෙහෙයුමක් සැලසුම් කරන කර්නල් ලෆීර් තම භට පිරිස් සමග පුතුර් කලපුවෙන් බැස කලපුව තරණය කර කිලෝමීටර් දහතුනක් පමණ දුරක් කිසිදු හානියකින් තොරව සරසා‍ලේ දක්වා පැමිණෙන්නේ කොටි විස්මයට පත් කරමිනි.
යම් හෙයකින් කලපුවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූවා නම් වතුරේදීම විශාල පිරිසකට හානියක් වුවද සිදුවන්නට ඉඩ තිබිණි. එතැනදී කිසි දෙයක් නොවූ නිසා අවදානමක් ගෙන කළ ඒ විස්මිත මෙහෙයුම කරළියට ආවේය. මේ වන විටත් කොටි ත්‍රස්තයන් සියලුම ප්‍රධානම මාර්ගවල පාලම් පුපුරුවා හැරීම නිසා මාර්ගවලින් ගමන් කිරීම අසීරු විය. මේ සියලු බාධක ජයගෙන පුතුර් කලපුව හරහා ඉදිරියට ගොස් සරසාලෙන්, චාවාකච්ච්ෙරි, කිලාලි, කොඩිකාමම් දක්වා ත්‍රස්තයන් පීරමින් බලය පෙන්වන්නට විශේෂ බළකා විරුවෝ සමත් වූහ.
ඉවෙන් මෙන් කොටි ඉලක්ක සොයා ගන්නට හැකියාවක් අති කර්නල් ලෆීර් තම කණ්ඩායම් අතරින් චාලි බළගණයේ කණ්ඩායම් භාර නිලධාරියා වූ කපිතාන් ස්ටැන්ලි සිරිමාන්නට සිතියමේ කොටසක් පරීක්ෂා කරන්නට නියෝග කළේය.

ඒ අනුව මීටර් පනහේ, පනහේ වගේ කොටුවක් තමයි අපිට පරීක්ෂා කරන්න තිබුණේ. එළවළු කොටුවක් වගේ අතුරළා දාලා තිබුණ තැනක් ඉදිරියට යද්දී අපේ කුඩා කණ්ඩායමකට ගේ‍රනේඩ් (අත්බෝම්බ) එකක් දමලා ගැහුවා. එසැණින් මම මගේ කණ්ඩායම දාගෙන වට කරගෙන ගහගෙන ඉස්සරහට ගියා. එතැනදී ෆයර් ෂයිට් එකෙන් පස්සේ අපිට එල්.ටී.ටී.ඊ. හැත්තෑහයකගේ බොඩීස් හම්බ වුණා. එදා කර්නල් ලෆීර් දුන්න නායකත්වය නිසා අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න හැකි වුණා යැයි කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න වසර විස්සකට පසු සිය මතකය අවදි කළේය.

එදා එම මෙහෙයුමේදී කොටින්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ජීවග්‍රහයෙන් අල්ලා ගෙන විශේෂ බළකායේ ඔත්තුකරුවකු ලෙස පුහුණු කරන්නට කර්නල් ලෆීර් කටයුතු කළේය.

කර්නල් ඒ.එෆ්. ලාෆීර් ,PWV, RWP, RSP, SF , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ටතම සේවා පදක්කම වන “පරම වීර විභූෂන” පදක්කම ලබාගත් විශේෂ බලකා නිලධාරියෙකි. ඔහු පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ ප්‍රථම අනදෙන නිලධාරියායි. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය පිහිටුවීමේලා විශිෂ්ට මෙහෙයක් සිදුකල නිලධාරියෙකි.

1996 ජුලි 18 වන දින මුලතිව් හමුදා කදවුර කොටි ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරයකට ලක්ව, දරුණු පසුබැමකට මුහුනපා සිටි අවස්ථාවේ, ත්‍රිවිධ පහර මේහෙයුමේ මුල් අදියර සදහා ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ පලමු විශේෂ බලකා රෙජිමේන්තුවේ කොමාන්ඩෝ සෙබලුන් 275 අනදෙමින්, ත්‍රස්ත්‍රවාදීගේ දරුණු සහ අන්ත්‍ර් ජාතික යුධ සම්මුතීන උල්ල්ංඝනය කරමින් පැරචුට් භටයන්ට වෙඩිතැබූ අවස්ථාවේ , එම වෙඩි ප්‍රහාර නොසලකා, මුලතිව් කදවුර හා රේඩියො ස්ම්බන්දතාවය ඇතිකරගනිමින්, මුලතිව් වෙරළ තීරයට ගොඩබට නිලධාරීයායි.

වෙඩිපහර කීපයකින් තුවාල ලබා සිටියත්, කර්නල් ඒ.එෆ්. ලාෆීර් තවත් ටික වේලාවක් තම සෙබලුන්ට අණ දෙනු ලැබීය. අවසානයේ මොටාර් බෝම්බ කැබැල්ලක් වැදීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්විය. ඔහුගේ සහෝදර සෙබලුන් , සිරුර ගුවන් හමුදා හෙලිකොප්ටරයකට යැවීමට සමත්විය. මෙම මෙහෙයුමේදී ඔහු ප්‍රකට කල වීරත්වය උදෙසා “පරම වීර විභූෂන” පදක්කම ප්‍රදානය කරන ලදී